මහජන මතය පාදඩකරණය කිරීම

මහජන මතය පාදඩකරණය කිරීම

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ යෝජිත සංශෝධන ‘මහජන මතය පාදඩකරණය‘ කිරීමේ උත්සාහයක්.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළේ ඉතිහාසයේ දුෂ්ඨම මැතිවරණ සංශෝධනය.

වසර 44 ක් පැරණි, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාවත වූ සමානුපාතික නියෝජනය වෙනුවට ‘අසමානුපාතික නියෝජනයක් ස්ථාපනය කෙරෙන’ ඡන්ද ක්‍රමයක් රජය කරළියට ගෙන ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛත්‍රී ගුණරත්න, අසාද් සාලි, ජ්‍යෙෂ්ඨ නිතිඥ ගුණරත්න වන්නිනායක සමඟ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් පැවසූවේ,

‘‘මෙයට පෙර ද යෝජනා වී සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ විරෝධය හමුවේ හකුලා ගනු ලැබූ පලාත් පාලන ඡන්ද විමසීම සංශෝධනය කිරීම සඳහා වන යෝජනා පසුගිය දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ‘දුෂ්ඨ, විෂම, සමානුපාතික නියෝජනය විකෘති කරන, මහජන මතය නිරූපනය නොවන විකෘතියක් බවයි.

  1. යෝජිත ඡන්ද විමසීම් ක්‍රමය තුලින් සමානුපාතික නියෝජනය අහෝසි වී, ප්‍රධාන පක්ෂ දෙක තුනකට පමණක් සභිකයින් හිමිවන ඡන්ද ක්‍රමය වෙනස් වන්නේය. අසමානුපාතික ඡන්ද ක්‍රමයක් බිහිවන්නේය.
  2. එක ඡන්දකින් හෝ ජයගන්නා පක්ෂයකට තමාට ප්‍රමාණය ඉක්මවූ බහුතර බලයක් එමගින් හිමි වන්නේය. පලාත් පාලන ආයතනය බලය ස්ථාපනය කර ගැනීමට නම්, සභික සංඛ්‍යාවෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවකි. යෝජිත ක්‍රමයෙන් 36% ක ඡන්දයක් හිමිවන පක්ෂයකට පවා එමගින් (68% ක් විරුද්ධවන අවස්ථාවේ දී පවා) පලාත් පාලන ආයතනය බලය හිමිකර ගැනීමේ විෂම, ව්‍යවහාරයක් ඇතිවන්නේය.
  3. බෝනස් මන්ත්‍රී ධූර දෙකක් සහ ඕවර් හැන්ග් ඉවත් කිරීම තුල දෙවන, තෙවන තමන්ට හිමි සැබෑ නියෝජනය බරපතල ලෙස අඩුවන අතර, සිව්වන හා පස්වන කණ්ඩායම් අතුගැවී යනු ඇත. සභික සංඛ්‍යාව 25 හෝ එයට අඩු ස්ථානයට පත්වන දේශපාලන පක්ෂවලට කිසිදු මන්ත්‍රී ධූරයක් දිනාගැනීමේ අවස්ථාව අහිමි වනු ඇත. ලංකාවේ පලාත් පාලන ආයතනය සංඛ්‍යාවෙන් හරි අඩක් පමණ සභිකයින් 20 ට අඩු පලාත් පාලන ආයතන වෙති. පළාත් පාලන ආයතනයන්ගෙන් 80 %ක ට වැඩි ප්‍රමාණයක්, සභිකයින් 25 ට අඩු පළාත් පාලන ආයතන වෙති.
  4. වත්මන් පළාත් පාලන ආයතන තුල, තනි මන්ත්‍රී ධූරයක් හෝ දෙකක් ලබාගෙන සභික ධූරයන් දරණ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ සිතියමෙන් අතුගෑවි අහෝසි වී යනු ඇත්තේය.
  5. ද්වි පක්ෂ මැතිවරණ ක්‍රමයක් බිහිවන අතර, සුළු පක්ෂ, බලපෑම් කණ්ඩායම් හා විකල්ප මතයන් සභාවන්ගෙන් අහෝසි වී යනු ඇත.
  6. පලාත් පාලන ආයතනයක් තුල ජාතිය, ආගම ආදී සාධක මත සුළුතරය වන කණ්ඩායම් නියෝජනය සම්පූර්ණයෙන්ම අහෝසි වන්නේය. වතුකර දෙමළ, සුළුතර මුස්ලිම් (බේරුවල, බලංගොඩ, බණ්ඩාරවෙල, කුරුණෑගල), සුළුතර සිංහල (උදා- වව්නියා, අම්පාර)

මෙම දුෂ්ඨ, විෂම ඡන්ද විමසීමේ යෝජනාව මෙයට පෙර සිවිල් ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ හකුළා ගනු ලැබූ බව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂවලට අමතකවීම කණගාටුවට කරුණකි. තව ද, තම ඡන්දදායකයාට අත්වන ඉරණම ගැන වතුකර දෙමළ, මුස්ලිම් ප්‍රජාව කේන්ද්‍රගත පක්ෂ නොතකා හැරීම පුදුමයකි. ජනතා විමුක්ති පෙරමුණ මෙහි බෝනස් මන්ත්‍රී ධූරය පමණක් මතුපිටින් සලකා බලා ඇති බව ද, තම පක්ෂයට දැනට පලාත් පාලන ආයතනය බහුතරයක පවත්නා නියෝජනය අහිමිවන බව අවබෝධ කර ගැනීම කණගාටුවකි. තම අතින්ම දේශපාලනිකව මියයාමට දේශපාලන පක්ෂ උත්සහ කරන්නේ නම් ඒ් ගැන දුක්වීමෙන් එලක් නොමැති බව සත්‍යයකි. නමුත්, රටට සියළු ප්‍රජාතන්ත්‍රීය බලවේගයන් ගේ දේශපාලන නියෝජනය අතුගා දැමීමට ඔවුන් කිසිවෙකුට හැකියාවක් නැත.

තවද, මෙම ඡන්ද ක්‍රමය සැකසී ඇත්තේ කිසිදු විටෙක තෙවන බලවේගයකට පලාත් හා ජාතික දේශපාලනයේ මාවත ඇහිරීම සඳහාම ය. දේශපාලන විකල්පයන් විනාශ කිරීමේ දුෂ්ඨ අරමුන සහිතව ය.

මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූවේ, කිත්සිරි රණවක, එවකට සීමා නිර්ණය කොමිෂන් සභාවේ ජයලත් රවී දිසානායක සහ මහාචාර්ය සුදන්ත ලියනගේ විසිනි. ජයලත් දිසානායක පොහොට්ටුව පක්ෂයේ මැතිවරණ තේරිම් කමිටු නියෝජිතයා ය. 2014 වසරේ එවකට ආණ්ඩු පක්ෂයට අතිශයින් පක්ෂග්‍රාහී ආකාරයට සීමා නිර්ණය වාර්තාවක් සකස් කර, පලාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් ඇති කළ පුද්ගලයා ය.

සභික සංඛ්‍යාව 500 කින් පමණ අඩු කිරීම, කොට්ඨාශ සහ සමානුපාතිකය අතර 60% සහ 40% යහපත් යෝජනා වන්නේය. ද්වි පක්ෂ ක්‍රමයක් බිහි කිරීම, සියළු විකල්ප මත විනාශ කිරීම, බහු පක්ෂ ක්‍රමය දේශපාලන සිතියමෙන් අතුගා දැමීම හේතුවෙන් මෙම යෝජනාව අන්ත දුෂ්ඨ හා දුෂිත වන්නේය.

සභික දූර 20 හෝ එයට අඩු පළාත් පාලන ආයතන රැසකි. සභික සංඛ්‍යාව 500 කට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමේ දී අද වන විට සභික සංඛ්‍යාව 20 – 25 දක්වා වන පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් ද පවතී. මේ සියළු පලාත් පාලන ආයතනවලට බෝනස් අසුන් දෙකක් ඇති කිරීම හා ඕවර් හැන්ග් ඉවත් කිරීම තුලින් සිදුවන්නේ ඡන්ද විමසීමට පෙර ජයග්‍රාහකයා තීරණය කිරීමකි. ද්වි පක්ෂ ක්‍රමයක් හැර, සියළු පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විනාශ කිරීමකි.

දුෂ්ඨ චේතනාව

2012 – 2014 සමයේ ද, මෙලෙසින්ම දුෂ්ඨ හා වංචනික ඡන්ද විමසීමට පෙර ජයග්‍රාහකයා තීරණය කරන මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමට රණවක – සුදන්ත ලියනගේ කණ්ඩායම උත්සහ දැරීය. එය යථාර්ථයක් බවට පත් කිරීමට අන්ත දූෂිත සීමා නිර්ණයක් පක්ෂ කාර්යාලයක මැදිහත්වීමෙන් සිදු කරන ලදී. එයට ග්‍රාම නිලධාරිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිසාපතිවරුන්, සිවිල් සංවිධාන විරෝධය පළ කිරීම හේතුවෙන් ඡන්ද පැවැත්වීමක් සිදු නොවීය. පළාත් පාලන ඡන්දය පැවැත්විය නොහැකි තත්වයට බවට මෙම අර්බුදය උඩු දිවූ අතර අශෝක පීරිස් ප්‍රමුඛ සීමා නිර්ණය කමිටුව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමඟ එක්ව එදා ඒම දුෂ්ඨ, පාදඩ ඡන්ද ක්‍රමය පරාජය කරන ලදී.

අද, නැවත එම ක්‍රමය එලෙසින්ම එම විකෘති ප්‍රතිඑලය ලබා ගැනිමේ සචේචනික උවමනාවෙන්ම නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන විට, විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එයට විරුද්ධ නොවීම පුදුම සහගතය. ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර තනි ආධිපත්‍යයක් මෙමගින් ලැබෙන බැවින්, ඔවුන් ද මෙයට නිහඬ අනුමැතිය ලබා දීම ගැන පුදුම විය යුතු නැත. උතුරු නැගෙනහිර කලාපයේ සියළුම පලාත් පාලන ආයතන වාර්ගික පදනම මත පාලනය අත් කර ගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ. අනෙක් අතට, ද්‍රවිඩ බහුතරයක් සහිත වතුකරයේ සුළුතරය වන සිංහල (හෝ කුඩා පක්ෂ) වෙත කිසිදු නියෝජනයක් අහිමි කිරිම මෙමගින් සිදුවේ.

වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 45% ක් හෝ ලබා නොගන්නා පලාත් පාලන ආයතනයක බෝනස් මන්ත්‍රී ධූරයක් ඇති කර එය වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට ලබාදීමෙන් පරාජිතයා ජයග්‍රාහකයා කර, ජයග්‍රාහකයා පරාජිතයා බවට පත් කිරීම සිදුවන්නේය. මෙය ඡන්ද ප්‍රතිඑලය සම්පූර්ණයෙන් විකෘති කිරීමකි.

රටේ වෙනස්වල දේශපාලන සිතියමට අනුව ආණ්ඩු පක්ෂයට ජයගත හැකි මැතිවරණ ක්‍රම සම්මත කර ගැනීමට උත්සහ දැරීම ම මහා විනාශයකට හේතු වනු ඇත්තේය. ආණ්ඩු පක්ෂය බෙදී වෙන්වීම සිදු වන්නේ නම්, එහි සුළුතර කණ්ඩායමට එකම පළාත් පාලන ආයතනයක්වත් අහිමි කිරීම මෙමගින් සිදු විය හැකිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සන්ධානගත පක්ෂ (ශ්‍රීලනිප, ජාතික නිදහස් පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලි පෙරමුණ, ජවිපෙ, රිෂාඩ් බදුර්දීන්, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මහජන පක්ෂය, ආදී….) හෝ මෙම අනතුර නොදැකීම පුදුම සහගත ය.

සමානුපාතික නියෝජනය සාක්ෂාත් කරන, සියලුම පක්ෂ හා ස්වාධීන සඳහා අසාධාරණයක් සිදු නොවන මැතිවරණ ක්‍රමයක් බිහි විය යුතුය. ඒ සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කාර්ය මණ්ඩලය මේ සඳහා එක්විය යුතුව ඇත.

Uncategorized