ඩිජිටල්
අංජනම
හනුමන් බ්‍රෝ
දිව නෙතින් බලා දිව මුවින් වාර්තා කරනු ලබයි…
නම සද්ජන
වැඩ දුර්ජන..!
බලය අවභාවිත කරමින් තම හැන්දෙන් තමන්ටම බෙදා ගත් ආයතන සභාපතිට හා අධ්‍යක්ෂ ජනරාල් වැඩවරදියි…
පරිසර ලේකම්ගෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා පත්‍රයක්…
චෝදනා පත්‍රය අතේ තබාගෙන අනුර කුමාර හා ෂානක්‍යන් සභාගැබ හොල්ලයි…
පරිසර ඇමති නසීර් අහමඩ් ටත් කට කටඋත්තර නැති වෙලා…
හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේකර නන් දොඩවයි…
පහුගිය දවසක පාර්ලිමේන්තුවේ පැවති පරිසර අමාත්‍යාංශයට අදාල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී අනුර කුමාර දිසානායකයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්මුයි පාර්ලිමේන්තුවේ උළු ගැලවෙන්න කෑගහනවා දැකලා හනුමන් බ්‍රෝ ඒ පැත්තට පාත් උනා. බැලින්නං ඒ දෙන්නගෙම අතේ එකම විදියෙ චෝදනා පත්‍රයක්…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සද්ජන ද සිල්වා නමට 2022 ඔක්තෝම්බර් මාසේ 29 වෙනිදා එවල තිබුන මේ චෝදනා පත්‍රය අතේ තියාගෙන මුලින්ම කතා කරන්න පටන් ගත්තේ රාසමාණික්‍යම් මන්ත්‍රීවරයා. එයා තමයි දැන් දෙමළ ජාතික සන්ධානයෙ ඉඳගෙන හොඳටෝම සිංහල කතා කරන මන්ත්‍රීවරයා.
දෙවනුව චෝදනා පත්‍රය වන වන කතාකලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි ඉස්සර ප්‍රේමදාස මහත්තයා වගේ, සුපුරුදු ලාලිත්‍යයෙන් යුතුව චෝදනා පත්‍රයේ කරුණු එකින් එක විග්‍රහ කරන්න පටන් ගත්තා. එයා තමයි හොඳටම කළේ.
චෝදනාව කෙටියෙන් කිව්වොත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් තමන්ගෙ බලය අයුතු ලෙස භාවිතා කරලා ත්‍රිකුණාමලයෙ මුතූර්හි සාෆි නගර් කියන තැන රජයේ ඉඩමක රොන්මඩ සහිත වැලි ඉවත් කරන කොන්ත්‍රාත්තුව හොර පාරේ සමාගමකට ලබාදීල.
අවසානයේ බැලින්නම් ඒ කොන්ත්‍රාත්තුව ලබා දුන්නු කොම්පැණියේ අයිතිකාරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා. කොහොමද ගහපු වංගුව. කොහොමද ගේම.
අනුර කුමාරලා රාසමානික්කම්ලා කට උල්කරගෙන උඩ පැන පැන පාර්ලිමේන්තුවේ කෑගැහුවත් අදාළ වැරැද්ද හරියට විග්‍රහ කළේ නැහැ. අදාළ වරද මතුපිටින් විග්‍රහ කරලා සද්දෙ දාල වැරදිකාරයෝ පෙන්නලා, ඒගොල්ලො අන්තිමේ රාජපක්ෂලාගේ මිනිස්සු කියලා ඔප්පු කරන්න උත්සාහ ගත්තා විතරයි.
ඒකනෙ මේ සද්ජන සිල්වා පත් කලේ කවුද කින්ද මන්ද කියලා එස් එම් චන්ද්‍රසේනගෙන් විමසලා බැලුවේ. චන්ද්‍රසේන කිව්වේ එයා මේ තනතුරට තමන් විසින් පත්කළේ වැඩ බලන්න කියලා. හැබැයි ඇත්ත කතාව ඒක ස්ථිර පත්වීමක්. අනුර කුමාරලට ඕන වුනේ අන්න ඒවා මතු කරලා පෙන්නන්න.
හැබැයි සම්පූර්ණ කතාව මෙන්න මෙහෙමයි…
සාෆි නගර් කියලා අන්තර්ජාලයෙ ගැහුවම එකපාරටම අපට එන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල තියන නගරයක්. එකක් නෙවෙයි දෙකක් තියෙනවා. නමේ අන්තිමට මුතූර් කියලා ගැහුවම ඔන්න නියම තැන ආවා.
සාෆි නගර් කියන්නේ මූතුර් කොට්ඨාසයෙ තියෙන ග්‍රාම සේවා නිලදාරී වසමක්. මේ සිද්ධියට අදාළ වෙල්ලනාවල් කියන රජයේ ඉඩමේ රොන් මඩ සහිත වැලි ඉවත් කරන්න භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ටෙන්ඩර කැඳවන්නේ 2020 වසරෙදී.
ඒ පාස්කු ප්‍රහාරය ඉවරවෙලා කොරෝනා පටන් අරන් ලංකාව දරුණුවටම lockdown කරලා තිබුණු කාලේ නේ. අපි හිතන් හිටියේ ඔය කාලේ රටේ මොනවත් කෙරිලා නෑ කියලා. හැබැයි ඉතින් ඔය තියෙන්නේ…
මේ ටෙන්ඩර් කැඳවීමට මුලින්ම අයදුම් කරන්නේ ත්‍රිකුණාමලයේ සිංහපුර නුවර පාරේ “විසල්මා කන්ස්ට්‍රක්ෂන්” කියලා සමාගමක්. අයදුම්පත් අංකය IML/A/N/EP/CLAY SAND/2020/3188.
අධ්‍යක්ෂ ජනරාල් සද්ජන සිල්වා ඒ අයදුම්පත ප්‍රතික්ෂේප කරලා සමාගමට දැනුම් දෙන්නේ 2021 දහවෙනි මාසේ 4 වෙනිදා. විසල්මා කාරයොත් නිකන් ඉන්නෙ නෑ. ඔවුන් දෙනවා ඒකට අභියාචනයක්. ඒක ඔවුන් යවන්නේ සද්ජන සිල්වාටත් පිටපතක් යවලා අමාත්‍යාංශයේ ලේකම්වරයට.
අමාත්‍යාංශයේ ලේකම් මේ අභියාචනය විභාග කරලා ඒක පිළිබඳ තීන්දුවක් දෙන්න කලින් අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන සිල්වා වෙනත් කොම්පැනියකට මේ කොන්තරාත්තුව බාරදෙනවා. ඒ තමයි නොම්බර 40, ධර්මරාජ පාර, අහංගම කියන ලිපිනයේ ලියාපදිංචි අප්ඩවුන් වෙන්චර්ස් සීමිත පුද්ගලික සමාගම(updown ventures pvt ltd)
ඔවුන් මේ සඳහා ඉල්ලුම් කරන්නේ 2021 මැයි 28 වෙනිදා. කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සජ්ජන සිල්වා 2021 නොවැම්බර් මාසේ 09 වැනිදා අංක IML/A/HO/N/15582 අංකය යටතේ මේ සමාගමට කාර්මික කැණීම් සඳහා බලපත්‍රයක් ලබා දෙනවා.
බැලූ බැල්මට නම් මේ ගනුදෙනුවේ කිසිදු ගැටලුවක් පේන්නේ නෑ. හැබැයි ඒක ඇතුළාන්තයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අමාත්‍යාංශයේ ලේකම්වරයා විසල්මා ආයතනයේ අභියාචනය විමසා තීන්දුවක් දෙන්නට පෙර සද්ජන සිල්වා ඔහුගේ බලය පාවිච්චි කර කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට පවරා දීම.
අමාත්‍යංශයේ ලේකම්වරයාත් ලේසිපාසු පුද්ගලයෙක් නෙවෙයි. කොරෝනා කාලෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා ඉන්නකොට වැඩ කරපු පිළිවෙල හින්දා අනිල් ජාසිංහ මහත්තයා මහජන ආකර්ෂණය හා ආදරය නොමදව දිනා ගත් අයුරු හනුමන්ට මතකයි.
අනිසි ලෙස තම තනතුරේ බලය පාවිච්චි කරමින් කළ යුතු රාජකාරි පැහැර හැරීම හා විෂමාචාරයේ යෙදීම කියන චෝදනාව යටතේ තමයි අමාත්‍යංශ ලේකම්වරයා සජ්ජන සිල්වට චෝදනා පත්‍ර එවන්නේ…
සේවයෙන් පහකිරීම සඳහා විනයානුකූලව ක්‍රියා නොකිරීමට හේතු විමසා දින 14ක් ඇතුළත උත්තර බඳින්නට ඔහුට අවස්ථාවකුත් දීලා. චෝදනා පත්‍රයෙ තියෙන්නේ මෙන්න මෙහෙමයි.
“අභියාචනයක් විභාග කිරීමට 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්රව්ය ගැන 39(2) වගන්තිය යටතේ අමාත්‍යංශයේ ලේකම්වරයාට ලබා දී ඇති බලය උල්ලංඝනය කරමින් විෂමාචාරයක් සිදු කිරීම” ඒක තමයි පළමු චෝදනාව.
සජ්ජන සිල්වා විසින් මෙම බලපත්‍රය නිකුත් කර ඇත්තේ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි iv – ඇ කොටස යටතේ 772/22 හා ජුනි මස නිකුත් කර ඇති විශේෂ විධිවිධාන වලටත් පටහැනිව. එහි තියන විදියට හෙක්ටයාර දහයකට වැඩි බිම්කොටස් වල මෙවන් කැණීම් කරන්නේ නම් මූලික පාරිසරික වාර්තාවක් (IEE) හා පාරිසරික බලපෑම් වාර්තාවක්(EIA) ලබාගත යුතු වෙනවා. ඒ කිසිවකින් තොරව අප්ඩවුන් වෙන්චර්ස් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා ලබාදීම තුළින් සද්ජන ජාතික පාරිසරික පනතේ විධිවිධානත් අමු අමුවේම උල්ලංඝනය කරලා . ඒක විෂමාචාරයක්.
එච්චරක් විතරයිද… නෑ තුන්වෙනි චෝදනාවකුත් තියනවා. ඒ තමයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ඉහත කී එක 1 හා 2 වැරදි සිදුකිරීම තුළින් අදාල ආයතනය හා අදාළ තනතුර අපකීර්තියට පත් කරමින් කටයුතු කිරීම .
චෝදනා ඔප්පු කිරීමට ඇති සියළු සියලු සාක්ෂි සාධක වල ලැයිස්තුවක් ඊළඟට චෝදනා පත්‍රයෙ පෙලගස්වා තිබුණා.
පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මන්ත්‍රීවරයා නම් කිව්වේ මුතුර් ප්‍රදේශයේ මිරිස් වැවීම සඳහා ව්‍යාපෘතියක් ඉල්ලා සිටි අප්ඩවුන් වෙන්චර්ස් කියලා සමාගමකට ලොක්කෝ ටික එක්වෙලා මේ ව්‍යාපෘතිය ලබාදුන්නා කියලා විතරයි. එහෙමම නෑ. සාෆි නගර් වැලි කැනීමේ ව්‍යාපෘතියටත් අප්ඩවුන් වෙන්චර්ස් සමාගම අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා.
හැබැයි මේ චෝදනා පත්‍රයේ කිසිම තැනක තිබුණු නැති බරපතළ කාරණයකුත් මේ ප්‍රශ්නේ ඇතුළාන්තයේ තියෙන බව කාටවත් සඟවන්න බෑ…
ඒ තමයි අප්ඩවුන් වෙන්චර්ස් සමාගමේ ප්‍රධානියා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ දැන් ඉන්න සභාපතිවරයා වීම…
අධ්‍යක්ෂ ජෙනරාල් එතකොට මේ කරල තියෙන්නෙ අතේ තියන දේ ලාච්චුවේ දැම්මා වගේ වැඩක්….
“දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා” කියන්නේ මෙන්න මේ වගේ වැඩවලට තමයි කියලා හනුමන්ට මතක් උනා. corona කාලේ නරක නෑ නේද ගහලා තියෙන ගේම් එක.
නම සජ්ජන..! සජ්ජන මොකද සද්ජන මොකද..?
නම සජ්ජන උනාට වැඩනම් සද්ජන නෑ කියල තමයි හනුමන් කල්පනා කළේ….




හනුමන් බ්‍රෝ