ඊයේ (15) දින පවත්වන ලද සමගි ජන බලවේගය උද්ඝෝෂණයට පෙර සජබට සම්බන්ධ වී සිටින අනෙකුත් පක්ෂවල නායකයන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලය අදාළ රැළිය සහ උද්ඝෝෂණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.
එහිදී සමගි ජන බලවේගය සමග එක් ව සිටින අනෙකුත් පක්ෂ නායකයන්ගේ අදහස වී තිබෙන්නේ දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මෙන්ම රැලිය ඇමතීමට අවස්ථාව ලබා දිය යුතු බවය. ඊට නායකත්ව මණ්ඩලයේ එකඟතාවය ද ලැබී ඇතැයි වාර්තා විය.
කෙසේවෙතත්, කුප්‍රකට සීනි බදු වංචාවට සම්බන්ධ ෂැංග්‍රීලා ව්‍යාපාරික ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු මෙන්ම විපක්ෂ නායකවරයාගේ නිල නොවන උපදේශකවරයා ලෙස ද කටයුතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා විසින් එසේ කිරීම අනවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා පමණක් රැලිය ඇමතීම ප්‍රමාණවත් වන බවත් දන්වා තිබේ. ලක්ෂ්මන් ෆොන්සේකාගේ තීරණය අවසාන තීරණය බවට පත්වීමත් සමග සජබ නායකත්ව මණ්ඩලය දැඩි ලෙස කළකිරීමට පත් ව ඇතැයි වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් පහකොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ දින 52 ආණ්ඩු කාල සීමාවේ දී ඊට එරෙහිව කළ සටනේ දී රාවුෆ් හකීම් , සරත් ෆොන්සේකා, පාඨලී චම්පික, සහ රාජිත සේනාරත්න වැනි පක්ෂ නායකයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද අතර, එම කාල සීමාවේ දී පැවැති රැලිවල දී ඔවුන් සියළුදෙනාටම පාහේ කතා කිරීමේ අවස්ථාව ලැබී තිබුණත් දැන් මේ ආකාරයෙන් ලක්ෂ්මන් ෆොන්සේකාගේ බලපෑමට විපක්ෂ නායකවරයා යටත් වී නායකත්ව මණ්ඩලයේ තීරණ ඉවතව විසිවන තත්ත්වයක් ඇතිවීම ඔවුන්ගේ කළකිරීම ඉහළ යාමට හේතු වී තිබේ.